දරුණු වැස්සක පෙර නිමිති සවස ඉඳන් පෙනුනි. අහස් තලයම වලාකුළින් බරව තිබුණි. දැඩි නිශ්චලත්වය බිඳිමින් සැඩ සුලං රැළක් හමා යළි දැඩි නිශචලත්වයක් කරා පරිසරය රැගෙන යමින් තිබුණි.මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී වැහි බිඳු ගැනිය හැකි මට්ටමෙන් පොළොවට පතිත වන්නට පටන්ගෙන මහ වැස්සක් පටන් ගෙනද තිබුනී.මා කුටියේ ඇති එකම කවුළුවෙන් වැහිබර අහසත්, ගස්කොලන් මත පහර පිට පහර දෙන වැහි පොද දෙසත් කම්මැලි කමින් බලා සිටියෙමි.දැඩි නිදි බර ගතියක සිටි මට එකෙනෙහිම නැගුණු මහ හඬකින් නිදිගැට බිඳිනි. ඒ මහා විදුලි කෙටුමකි. කවර කලෙකවත් නෑසුන තරම් ඒ හඩ ප්‍රබලවත් තීව්‍රවත් ඇසුණි. ඒ හඬට කලින් ඇහැට වැටුණු ඒ එළියද ගිනි රතු පැහැයක් ක්ෂණයකින් නැති වී ගියාක් වැනි විය. මට කුටියෙන් එළියට ගොස්, එළියෙහි සිදුවන මේ ආශ්චර්යය සියැසින් දැක ගන්නට සිතක් පහළ වුණි. පීලි දිගේ රූටා එන වැහි පොද මහ ජල කඳක් වි පොලොවට පැන දිවි නසා ගන්නා වැනිය. කවදත් වගේ මම එළියට ආවොත් අයියගෙ පොඩි එකා මා එක්ක සෙල්ලමට වැටේ.ඉතින් ඒ පොඩි එකාට මේ මහ වැස්ස දැකල හරි හිනාය. අහස ගෙරෙව්වත් ඇයට හිනාය.විදුලි කොටන කොටත් හිනාය. අතැතිව සිටි සෙල්ලම් බෝනික්කත් එක්ක මා ලඟට ඇය ආවේ ඒ බෝනික්කා මගේ ඇඟේ පිටුපස වද්දමින් එහාට මෙහාට දුවන්නට පොඩි ගිවිසුමක් ගිවිස ගැනීමටය. ඇගේ සිත රිදවිය නොහැකි මට සෙල්ලම කිරීමට පටන් ගත්තෙමු.මා ඉදිරිය බලා ගෙන සිටින අතර ඇය පිටු පසින් සෙල්ලම් බෝනික්කාගෙන් මට පහරක් ගසයි.මම හැරී බැලූ විට ඇය තිගැස්සීමටත්, මහ හඬින් සිනා සීමටත් පටන් ගනී.එය ඇගේ විනෝදයයි. මේ අස්සේ වැහි සැර වැඩි වෙමින් තිබු විනා අඩු නොවුණි.දැන් දැන් ඇගේ මේ සෙල්ලම මට එපා වී තිබුණි.
දැඩි නිශ්චලත්වයක් මගෙ සිත අයැද සිටින බවක් වැටහුණි.ඒත් ,ඇගේ හිත රිදෙන වදනක් පිට කල නොහැකි මම ඇයට අපූරු සංසිද්ධියක් පැහැදිලි කර දෙන්නට පටන් ගත්තෙමි. මට ඕන වුණේ ඒ කර කර සිටි සෙල්ලමෙන් පැන යාමටත් , වැස්ස සමග මොහොතක් අතීත ආවර්ජනයක යෙදෙන්නටය. "පැටියෝ ඔයා දන්නවද වැඩක්?" ඔයාගේ ඔය අතේ තියෙන සෙල්ලම් බෝනික්කා ඔයා නිදා ගත්තම , ඇවිදින්න , කථා කරන්න පටන් ගන්නව! මෙයාල මේ බොරුවට ඉන්නේ නිකන් පණ නැහැ වගේ ! මෙයත් ඔයා වගේම කථා කරනව, සින්දු කියනව,නටනව,කනව,බොනව!!! ඔව්..... ! ඔයාල වගේම තමයි.... ! හැබැයි එයාල ඒ ඹක්කොම කරන්නේ අපි කවුරුත් නිදා ගත්තම! හ්ම්ම්... ඒක තමයි තියෙන ප්‍රශ්නෙ!අපිට කවදාවත් දකින්න බැහැ පැටියෝ....!! අපි ඔක්කොම නිදා ගත්තම තමයි මේ ගොල්ලො ඒ වැඩ කරන්න පටන් ගන්නේ! මේක අහපු ගමන් මේ පොඩි එකා එහෙනම් මම නිදා ගන්නම් කියල ඇස් පියා ගත්ත.බෝනික්කට පණ එන හැටි බලන්න. "නෑ පැටියෝ ... ඔයා ඇස් පියා ගත්තට...., බලන්න.... !මේ ගෙදර තව කොච්චර කට්ටිය ඉන්නවද? නිදි නැතිව....!! ඒ බව එයා දන්නව...! එකනේ මේ පණ නැහැ වගේ ඉන්නේ....! මෙයින් නොනැවුතුණු ඈ බෝනික්කා සමග තරමක් කේන්ති ගත්තාය.ඇය පහර පිට පහර එල්ල කරමින් ඒ මේ අත විසිකරමින් පරික්ෂාවකට භාජනය කරයි. ඇය දැන් ඇස් පියාගෙන හොරෙන් හොරෙන් බෝනික්කා දෙස බලයි. ඒත් ඇය කිසිවක් නොදැකී. සුළු මොහොතකට පසු ඇයට ඒ සිද්ධිය එපා විය. වැස්ස ද කෙමෙන් කෙමෙන් නිම වෙමින් පැවතුණි. නොවිසුඳුණු පැනයක් මුහුණේ තබා ගනිමින් ඇය නින්දට ගොස් සිටි බව දුටිමි.වදෙන් පොරෙන් ගැල වෙන්නට මම ඇයට ඒ පැවසූ දේ ඇත්තටම ඇත්තක් වුවහොත් කුමකින් කුමක් සිදුවන්නේ දැයි මා මුසපත් වුණි.මා ඇයට පැවසූ දේ ඇගේ මනසයට බර වැඩි දෝයි මට සිතුනි.එහෙත් ඇය දැන් සෙල්ලම් බඩු සමග දක්වන හැසීරීම වෙනස් බව මට ඒ මොහොතේම වැටහුණි.
ඇය දිගින් දිගටම ඒ කුඩා බෝනික්කාට පහර දෙන්නට වුයේ ප්‍රාණයක් ඇත්නම් කෑ ගැසීමට පටන් ගන්නා බව දන්නා නිසා විය යුතුය. මා සෙල්ලම් බෝනික්කා ඔස්සේ මේ සංසිද්ධිය යථාර්ථයක් බවට පසක් කර ගැනීමට සාධක සොයමින් කුටියට පැමිණ කල්පනාවක නිමග්න වුනෙමි.පැහැදිලි සාක්ෂියක් මා හට නොමැති බැවින් කල්පිතයක් හෝ ඇසූ පිරූ යමක් තිබේ දැයි, මා සොයන්නට වුණි.දැන් මගේ මනසට දැඩි බලපෑමක් වන්නට තරම් මේ සිද්ධිය බරපතල ව ඇති සෙයක් මට වැටහුණි. මට දැඩි මරන බියක් ගෙන දෙන්නට තරම් ඈ ලඟ හුරුබුහුටි සෙල්ලම් බඩු රොත්තකි.මා ඒ හුරුබුහුටි සෙල්ලම් බඩු රොත්තෙන්ම මැරුම් කෑමට ඉඩ ඇති බවක් හිටි හැටියේම මගේ හිතට ඇතුළු වුණි. ඉතින් මම කියා කුමක් කරන්නද? ප්‍රාණය ලබන්නේ අප සියල්ලම දැඩි නින්දේ පසුවන අවස්ථාවේ දී බව මගේ දැඩි විශ්වාසයයි.දැඩි තෙහෙට්ටු වූ මනසක් සහිතව නින්දට ගියද නින්ද නොපැමිණේ.දැඩි විමසිල්ලකින් මා අද නිදි වරා ජීවිතය රැක ගත යුතු බවට අධිෂ්ඨාන කර ගතිමි. මට යන්ත්‍ර සූත්‍ර සියල්ලම ගැන දැඩි සැකයක් ඇති විය. ඉතින් එහෙම ප්‍රාණයක් ලබයි නම් ඒ ආයුධ සන්නද්ධ සෙල්ලම් බෝනික්කන් ගේ සැබෑ ස්වරූපය අනුව යමින් එයින් මැරුමි කා මියැදෙනවා මිසක් වෙන කුමක් පතන්නද? කිසිවක් නොමැත මිහිපිට! මට මේ අප්‍රාණින් , ප්‍රාණයන් ලබන මොහොත නරඹන්නට දැඩි උවමනාවක් තිබුණ නමුත් ඒ සඳහා චලන කැමරාවක් යොදවා පටිගත කරන්නට සිතුවද පසුව මට පසක් වූයේ කැමරාව ද උන්ගෙම එකෙක් බැවින් ඌ ද සෙල්ලම් බෝනික්කන්ගේ චලනයන් පටිගත නොකර ඔහේ හිඳින බවක්ය.දැඩි නොසනසුන් කාරී බවකින් මම එදින සිට රාත්‍රිය ගත කරමි, දහවල මට එතරම් බියක් ගෙන නොදෙයි.


